“Mental health” එහෙමත් නැත්‍තන් “මානසික සෞඛ්‍යය” කියන්නේ සමාජ මාධ්‍ය ජාලාවල අතිශයෙන්ම trending වන Hash Tag එකක්. ඒත් අපි කාගෙන් හරි ඇහුවොත් මානසික සෞඛ්‍යය කියන්නේ මොකක්ද කියලා, මම හිතන්නේ නෑ බහුතරයක් ඒ වචනයේ තේරුමවත් හරියට දන්නවා ඇති කියලා. මොකද ඒක තනි වචනයෙන් දෙන්න පුලුවන් උත්තරයක් නෙමෙයි නිසා.

World Health Organization (WHO), ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මානසික සෞඛ්‍යය යනු “mental health is more than just the absence of mental disorders or disabilities.

Mental health is a state of well-being in which an individual realizes his or her own abilities, can cope with the normal stresses of life, can work productively and is able to make a contribution to his or her community.”.

මෙහි සරල සිංහල අදහස වෙන්නේ, “මානසික සෞඛ්‍යය යනු මානසික ආබාධ හෝ මානසික ගැටලු නොමැති වීමට වඩා වැඩි දෙයකි.

මානසික සෞඛ්‍යය යනු පුද්ගලයෙකුට තමාගේම හැකියාවන් අවබෝධ කර ගැනීමට, ජීවිතයේ සාමාන්‍ය ආතතීන්ට මුහුණ දීමට/කළමනාකරණයට , ඵලදායී ලෙස වැඩ කිරීමට සහ ඔහුගේ හෝ ඇයගේ ප්‍රජාවට දායකත්වයක් ලබා දීමට හැකි වන යහපැවැත්මේ තත්වයකි.”

මේ අනුව අපේ අවධානය යොමු විය යුතු අංශ 4ක් මම මේ නිර්වචනයෙන් උපුටා ගන්නවා. ඒ තමයි,

  1. පුද්ගලයා තමාගේම හැකියාවන් අවබෝධ කර ගැනීම
  2. ජීවිතයේ සාමාන්‍ය ආතතීන්ට මුහුණ දීම/කළමනාකරණය කර ගැනීම
  3. ඵලදායී ලෙස වැඩ කිරීම
  4. තමාගෙන් සමාජයට දායකත්වයක් ලබා දීම

පුද්ගලයෙක්‍ට මේ කාරණා හතර අපිට පේනවට වඩා හරිම වැදගත් සහ ඒ හරහා ලැබෙන ප්‍රතිඵල වචනයෙන් කියන්න බැරි තරම් වටිනවා.

ජිවිතේ අපි ගොඩාක් දේවල් කරන්න ආස කරනවා, හීන දකිනවා, ඒ හීන වෙනුවෙන් වැඩ කරනවා. ඒත් අපි ආසකරන හැමදේම අපිට කරගන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි පුදුමතරම් විදවනවා, මනසින් කඩා වැටෙනවා. අපේ හීන හැබෑ නොවෙන්න බලපාන්න පුලුවන් ප්‍රධානම හේතුවක් තමයි අපි අපිට කරන පුලුවන්, අපේ දක්ෂතාවයන්ට- හැකියාවන්ට නොගැලපෙන දේවල් කරන්න යෑම. එතනදි අධ්‍යාපනය වේවා, රැකියාව වේවා මේ ඕනම තැනකදි අපි හිරවෙන්නේ, අපි කඩාගෙන වැටෙන්නේ අපි අපිව අදුරගන්නේ නැතුව වෙන කෙනෙක්ගෙ ජීවිතේ දිහා බලාගෙන, එහෙමත් නැත්තන් දෙමාපියන්ගෙ – ඔයාගේ හීන දිහා බලාගෙන ජීවිතේ හොයන්න යද්දී. ඒ නිසා අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ, තමන්ව හොයාගන්න එක. තමන්ට පුලුවන් මොනවද හොයාගන්න එක. ඊට පස්සේ ඒ අනුව ඔයාගේ හීන පස්සේ දුවද්දී ඔයා දිනන එක කාටවත් නවත්තන්න බෑ.

ආතතිය කියන්නේ හැමතිස්සේම Negative දෙයක් නෙමෙයි, හැබැයි අනවශ්‍ය තරමට එන ආතතියට අපිව මරන්න උනත් පුලුවන්. දවසක් ගත්තොත් මේ දවස ඇතුලේ අත්විඳින්න වෙන දේවල් එක්ක අපි හැමෝම අඩු-වැඩි වශයෙන් ආතතියට පත් වෙනවා.ඒත් යම් ආතතිමය තත්වයක් අපේ එදිනෙදා වැඩ කටයුතු වලට බාධා වෙන තරමට, අපේ අවට ඉන්න අයගේ වැඩ කටයුතුවලට බාධා වෙන තරමට, එහෙමත් නැත්තන් අපිට සහ අපේ වටේ ඉන්න අය කියන මේ දෙපිරිසටම බාධා වෙන තරම ඇවිත්නම් ඒක ලොකු ගැටලුවක්. එතනදි අපි වහාම අපේ ආතතිය කළමනාකරණය කරගන්න අවශ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්න ඕනේ. අපිට තනියම බැරිනම් ඒ සදහා සුදුසු පුද්ගලයෙක්ගෙ සහාය ලබා ගන්න අවශ්‍යයි. මේ විදිහට එදිනෙදා එන ආතතීන් කළමනාකරණය නොකලොත් ඒකේ අවසාන ප්‍රතිඵලය විදිහට අපි මානසික රෝග වලට ගොදුරු වෙන්න පුලුවන්. ඒ නිසා ඔයා නිතරම පුරුදු වෙන්න ඕනේ එදිනෙදා එන ප්‍රශ්නවලට ඒ ඒ වෙලාවෙදිම බොහොම ධනාත්මකව මුහුණ දෙන්න සහ ඒ ගැටළු ඉතා හොදින් කළමනාකරණය කරගන්න.
උදාහරණයක් විදිහට, ඔයාට උදේ නැගිටින්න ප්‍රමාද උනොත්, උයන්න ගියොත්නම් තවත් පරක්කු වෙනවා කියාලා දන්නවා නම් එදාට බත් උයනවා වෙනුවට බොහොම ඉක්මනින් හදාගන්න පුලුවන් කෑමක් හදලා තමන්ගේ සැමියව, දරුවව ඉක්මනින් පිටත් කරන එක. අවශ්‍ය උනොත් දරුවා එක්ක ඔයාටත් ඉස්කෝලෙට යන්න පුලුවන්. එදාට විතරක් කෑම එකක් කඩෙන් ගන්න පුලුවන්. කොහොමහරි ඒ මොහොතට අපි හොදින් මුහුණ දෙන්න ඕනේ. අපි හැමෝම මිනිස්සුනෙ, ඒ නිසා ප්‍රශ්නයක් උනාම කතා කරලා විසදගන්න බැරි කමක් නෑ කියලයි මම නම් හිතන්නේ. වැදගත්ම දේ තමයි, දැන්, මේ මොහොතට හරිම විදිහට කලබල නොවී මුහුණ දීමයි.

මෙතනදි කතා කරන තුන්වෙනි කාරණාව තමයි, ඵලදායී ලෙස වැඩ කිරීම. අපි හැමෝටම ඕනේ සාර්ථක වෙන්න. සාර්ථකත්වයේ රහස තමයි ඵලදායී විදිහට වැඩ කිරීම. අපි උසස් පෙළ විභාගයට සූදානම් වෙන දරුවෙක් ගමු. අපි දන්නවා ඒ දරුවා සාර්ථකව විභාගය සමත් වෙන්නනම්, උසස් අධ්‍යාපන වරම් ලබා ගන්නනම්, එයා එයාගේ අවුරුදු දෙක උපරිම ඵලදායී විදිහට ගත කරන්න ඕනේ. මේ විදිහට අපේ ජීවිතේ කොයි පැත්තකින් උනත් සාර්ථක වෙන්නනම්, ඒ වෙනුවෙන් ඵලදායී විදිහට වැඩ කරන්නම වෙනවා. ඵලදායී විදිහට ගත කරන ජීවිතයක රහස තමයි සංවිධානාත්මක බව කියන්නේ. හැම නිතරම ඒ ඒ දවසට, සතියට, මාසයට, අවුරුද්දට වෙන් වෙච්ච කටයුතු, අරමුණු, බලාපොරොත්තු තියෙන පුද්ගලයට අපතේ යවන්න කාලයක් නෑ. ඒකේ අදහස කිසිම විවේකයක් නැති ජීවිතයක් කියලා නෙමෙයි, සංවිධානය වෙච්ච ජීවිතයක් කියන එකයි.

මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් කතා කරද්දී එම නිර්වචනයේ අවසාන කාරණාවෙන් කියන්නේ අපි අපෙන් සමාජයට දෙන දායකත්වය ගැන. හරියට හිතලා බැලුවොත් සමාජය කියන්නෙත් අපි අපිටම නෙමේද? ඇත්තටම මේ කියන කාරණාවෙත් ප්‍රතිඵල භුක්ති විදින්නේ අපි අපිම තමයි. ඔයා කිසිම හේතුවක් නිසා මිනීමරන්නේ – හොරකම්කරන්නේ නැත්තන්, වංචා දූෂණ සිද්ධකරන්නේ නැත්තන්, එහෙම කරන්න කිසිම කෙනෙක්ට අනුබල දෙන්නේ නැත්‍තන්, තමන්ගේ රැකියාව හෝ තමන්ට පැවරිලා තියෙන වගකීම ඉතා හොදින් උවමනාවෙන් කරනවා නම්, මිනිස්සූ හැමෝම එක්ක හරි ප්‍රියමනාපව තමන්ට පුලුවන් උපරිමයෙන් උදව්-පදව් කරගෙන ඉන්නවා නම්… මට තේරෙන විදිහට මේක තමයි ඔයා ඔයාගෙන් සමාජෙට දෙන උපරිම දායකත්වය. හිතන්න හැමෝම මේ විදිහට හිතලා වැඩ කරද්දී ඒකේ ප්‍රතිඵල අත්විඳින්නේ අපි අපිමනේ. අපිටයි, අපේ දරුවන්ටයි නෙමෙයිද හොර මැරකම් නැති, ලස්සන, ජීවත් වෙන්න ආස හිතෙන සාමාජයක් ලැබෙන්නේ?

ඉතිං ඔබේ මානසික සෞඛ්‍යය ඔබේ ජිවිතේ යහපත් වෙන්න වගේම රටේම ජිවිත යහපත් කරන්න බලපාන විදිහ හරිම අපූරුයි. ඒ නිසා අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ පෞද්ගලිකව තම තමන්ගේ මානසික සෞඛ්‍යය පවත්වාගෙන යන්න. එතනදී මේ කතා කරපු ප්‍රධාන කාරණා හතරට ( තමාගේම හැකියාවන් අවබෝධ කර ගැනීම, ආතතීන් කළමනාකරණය කර ගැනීම, ඵලදායී ලෙස වැඩ කිරීම සහ සමාජයට දායකත්වයක් ලබා දීම ) තමයි ඔබේ අවධානය යොමු විය යුතු වන්නේ.

අපි අහලා තියෙනවනේ කියමනක් තියෙනවා, මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියලා. “The ultimate duty of man is to serve man” – Hon S.W.R.D Bandaranaike. ඒක ඇත්ත කියලා මමනම් විශ්වාස කරන්නේ. අපි අපේ උපරිමය අපි වෙනුවෙන් කරමු!

ඔයාලා හැමෝටම තම තමන්ගේ මානසික සෞඛ්‍යය ඉතා හොදින් පවත්වාගෙන යන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව නොඅඩුව ලැබේවා!

සටහන:
පී.එම්. බී අචිනි පූර්ණිමා ද සිල්වා
ලියාපදිංචි මනෝ උපදේශිකා
“සැනසුම” මනෝ උපදේශන සේවාව

සිතුවම් unsplash.com වෙබ් අඩවියෙනි