ලෝක සෞඛ්‍ය සංවිධානය 2019 වර්ෂයේ සිදුකරපු සමීක්ෂණයකට අනුව ඔවුන් හොයාගන්නවා, ලෝකයේ සෑම පුද්ගලයන් 8දෙනෙක්ගෙන් 1ක් අයෙක් මානසික රෝගයකින් පීඩා විදිනවා කියලා. ඒ කියන්නේ සමස්ථ ලෝක ජනගහනයෙන් මිලියන 970ක්. ලෝකයේ දියුණු රටවල මේ වෙද්දී පුද්ගලයාගේ කායික සෞඛ්‍යට වගේම මානසික සෞඛ්‍යටත් ඉහළ තැනක් ලබා දීලා තියෙන්නේ මේකේ තියෙන බරපතලකම දන්න නිසයි. ඒත් අපේ ශ්‍රී ලංකාව වගේ රටවලට “මානසික සෞඛ්‍ය” කියන්නේ කැලැන්ඩරේ එක දිනේකට සීමා උන දෙයක්ද කියලා මට හිතෙන වාර අනන්තයි. විශේෂයෙන්ම මේකට ප්‍රධානම හේතු වෙන්නේ අපේ තියෙන නොදැනුවත්භාවය, නොතේරුම්කම සහ සමහරක් වෙලාවට අපේ ඔලුවල තියෙන දැඩි මිත්‍යාමත. එහෙම තියෙන මිත්‍යා මත 5ක් ගැන ටිකක් අපි කතාකරමු.

  1. හිත දුර්වල අයට තමයි මානසික ගැටළු, මානසික රෝග හැදෙන්නේ.
  2. මානසික ගැටළු, මානසික රෝග තියෙන්නේ බොහොම සුළු පිරිසකට.
  3. මානසික ගැටළුවලට, මානසික රෝගවලට ප්‍රතිකාර හෝ ඒවා කළමනාකරණය කරන්න බෑ.
  4. “පිස්සෝ” තමයි Counselling, Therapy සහ මනෝවෛද්‍යවරු හමුවෙන්න යන්නේ.
  5. මානසික ගැටළු, මානසික රෝග තියෙන අය හරි කලහකාරී, කොයි වෙලාවේ මොනවා කරයිද දන්නේ නැති නිසා හරි භයානකයි.

නිකමට හිතලා බලන්නකෝ මේ කියපු මත එකක් හරි ඔයා, ඔයාගේ පවුලේ අය, නැත්තන් ඔයාගේ දන්න කියන කෙනෙක් හරි දරන්නේ නැද්ද කියලා. ගොඩාක් වෙලාවට එහෙම මත ඔලුවෙ තියෙන එක ලංකාවේ හරි සාමාන්‍යයි. මොකද අපි තාමත් මිත්‍යා මත පස්සේ පන්නන මිනිස්සු ටිකක්. මතකනේ කොරෝනා කාලා වෙච්ච දේවල්?

කොහොමහරි පුංචි වෙලාවක් අරගෙන අපි පොඩ්ඩක් බලමු අපි මේ හිතන් ඉන්න මතවල ඇත්ත, නැත්ත. මම කියනවට විශ්වාස නොකර මේ ටික අහලා, ඊට පස්සේ ඔයා ඔයාගෙ මොළෙන්ම මේ කියන ටික හොදට හිතලා බැලුවොත්, ලෝකේ කරන,කරපු පර්‍යේෂණ වාර්තා කියවලා බැලුවොත් ඔයාටත් ඇත්ත චුට්ටක් තේරෙන්න පටන්ගනීවී.

1) හිත දුර්වල අයට තමයි මානසික ගැටළු, මානසික රෝග හැදෙන්නේ

වැරදිලා හරි ප්‍රවෘත්තී වලට කියනවා ඇහුනොත් මනුස්සයෙක් සියදිවි හානි කරගෙන කියලා, ඉස්සෙල්ලාම අපේ ඔලුවට එන්නේ “අපරාධේ ජීවිතේ,මෝඩකමනේ වෙන මොකද්ද? දැන් කාලේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් දරාගන්න බෑ, හිත හයිය නැති හින්දනේ ඔහොම වෙන්නේ…” වගේ කතානේ. හේතුව තමයි, අපි හිතනවා හිතුවොත් ඕන දෙයක් කරන්න පුලුවන් කියලා. දැන් මන් ඔයාලගෙන් අහනවා, ඉස්කෝලේ යන කාලේ හිතපු විදිහටම විභාග සමත් උනාද? හිතපු විදිහටම රස්සාව ලැබුනද? හිතපු විදිහෙම ජීවිතයක්ද දැන් ගත කරන්නේ? කොටින්ම උදේට alarm එක වදිද්දී කීයෙන් කී දෙන්නෙක්ද එකපාරෙන්ම අවදි වෙන්නේ? ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ, හිතපු පමණින් හැමදේම කරන්න අමාරුයි අපිට. හිතුවට දෙයක් කරගන්න බැරි වෙන්න බලපාන තවත් ගොඩාක් හේතු තියෙනවා. ඒ නිසා හිත කොච්චර හයිය කෙනෙක්ට උනත් මානසික ගැටළු, රෝග ඇතිවෙන්න පුලුවන්.

මං කලින් කිව්වා වගේම මානසික ගැටළු ඇතිවෙන්න බලපාන්නේ හිතේ දුබලත්වය විතරක්ම නෙමෙයි. ඒකට බලපාන හේතූ ප්‍රධාන හේතූ කාණ්ඩ 3ක් යටතේ කාණ්ඩ කරලා තියෙනවා. ඒ තමයි, ජීව විද්‍යාත්මක හේතූ, මානසික හේතූ සහ සාමාජමය හේතූ. හිතන්න ඇගේ දකුණු පැත්තම paralyze උන මනුස්සයෙක්ට කොච්චර දකුණු අත උස්සන්න උවමනාව තිබුනත් කායික ගැටළුව නිසා එයාට අත උස්සගන්න බෑනේ. මේ වගේ තමයි හැම මානසික ගැටළුවකටදීම හිතපු පමණින් ඒ ගැටළුවෙන් ගොඩ එන්න අමාරුයි. මානසික රෝග සම්බන්ධයෙනුත් මේ තත්වය මෙහෙම්මයි, ඒ රෝග ඇති වෙන්න බලපාන හේතූ රාශියක් තියෙනවා. ඕනම වෙලාවක ඔයාට, මට මේ මානසික ගැටළු, රෝග ඇතිවෙන්න පුලුවන්. ඒ නිසා ඔයා දුර්වලයෙක් වෙන්නේ මානසික ගැටළුවලට, රෝගවලට මූනදෙන නිසා නෙමෙයි, ඒකෙන් අයින් වෙන්න අවශ්‍ය උදව් ලබා නොගත්තොත් විතරයි. ඒ නිසා ඔබ ඔබට ආදරෙයිනම් තනියම ප්‍රශ්න එක්ක පොරබදිනවා වෙනුවට ඒ සදහා අවශ්‍ය සහය ලබා ගන්න. ඔබේ ආදරනීයන්ට ප්‍රශ්නවලින් එළියට එන්න මග පෙන්වන්න.

2) මානසික ගැටළු, මානසික රෝග තියෙන්නේ බොහොම සුළු පිරිසකට

ලෝක සෞඛ්‍ය සංවිධානය 2022 ජුනිවල ඉදිරිපත් කරපු වාර්ථාවක සදහන් වෙනවා, 2019 වර්ෂයේ කාංසා (Anxiety) තත්වය මුළු ජනගහනයෙන් මිලියන 301 කටත්, විශාදය(Depression) මුළු ජනගහනයෙන් මිලියන 280කටත්, ද්වීද්‍රැව (Bipolar)තත්වය මුළු ජනගහනයෙන් මිලියන 40කටත්, මානසික රෝග අතර දරුණු ඝණයේ රෝගී තත්වයක් ලෙස සලකන භින්නෝන්මාද (Schizophrenia) මුළු ජනගහනයෙන් ආසන්න මිලියන 24කට, ඒ කියන්නේ මිනිස්සු 300කින් 1ක් කෙනෙක්ට තියෙනවා කියලා. මතකයිනම් මේ ලිපියේ මුලින්මත් මම කිව්වා “ලෝකයේ සෑම පුද්ගලයන් 8දෙනෙක්ගෙන් 1ක් අයෙක් මානසික රෝගයකින් පීඩා විදිනවා” කියලා.

ඒ නිසා අපි තේරුම් ගන්න අවශ්‍ය දේ තමයි, මානසික ගැටළු, මානසික රෝග කියන්නේ බොහොම සුලභ කාරණාවක්. අපේ මේ ගත කොච්චර ලෙඩ වෙනවද, ඒක කොච්චර සාමාන්‍ය දෙයක්ද, ඒ තරම්ම හිතත් ලෙඩ වෙනවා සහ ඒකත් අතිශය සාමාන්‍යය තත්වයක් කියලා ඔලුවට දාගත්තනම් හරී.

3) මානසික ගැටළුවලට, මානසික රෝගවලට ප්‍රතිකාර හෝ ඒවා කළමනාකරණය කරන්න බෑ

දැන් අපි අපේ ගත ලෙඩවෙන එක සාමාන්‍යයි කියලා දන්නවා වගේම, ලෙඩක් හැදුනට පස්සේ ඒකට අවශ්‍ය ප්‍රතිකාරවලට අපි යොමු වෙනවා, එහෙම නැත්තන් ලෙඩේ හැදෙන්න කලින්ම රෝග ලක්ෂණ එද්දී ඒවාට අවශ්‍ය දේවල් කරනවා, එහෙමත් නැත්තන් ලෙඩක් හැදෙන්න කලින්ම ඒ ලෙඩේ හැදෙන්න පුලුවන් හේතූ ටික අයින් කරලා දානවා. අන්න ඒ වගේම මේ මානසික ගැටළුවලට, රෝගවලටත් ඒ ටිකම තමයි කරන්න තියෙන්නේ. හොදම දේ හිත ලෙඩවෙන්න තියෙන හේතූ ටික අයින් කරන එක. ඒත් ඒක හිතන තරම්ම ලේසී නැති නිසා රෝග ලක්ෂණ එද්දිම අවශ්‍ය පිළියම් කරන්නයි තියෙන්නේ. එහෙමත් බැරි උනොත් හැදුනට පස්සේ හරි පිළියම් යොදලා ඒ තත්වයෙන් ගොඩ එන්න අවශ්‍ය වෙන්නේ.

මුලින්ම මානසික ගැටළු ඇතිවීගෙන එද්දීම කරන්න පුළුවන් දේවල් තමයි මනෝ උපදේශනය, මනෝ චිකිත්සනය කියලා කියන්නේ. මානසික රෝග දක්වා වර්ධනය උනාම අපිට මනෝ උපදේශනයට එහා ගිය ප්‍රතිකර්මයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මනෝ වෛද්‍යවරයෙකුගේ සහය අවශ්‍ය වෙනවා. පුද්ගලයෙක්ට මානසිකව සුවපත් වෙන්න විතරක් නෙමෙයි උපදේශන හරහා ඔහුගේ හෝ ඇයගේ මානසික ගැටළු නිසිලෙස කළමනාකරණය කරගන්නත් අවශ්‍ය සහයෝගය නොඅඩුව ලබා දෙනවා.

ලංකාවේ මේ වෙනකොට මානසික සුවය ඇතිකරගන්න අවශ්‍ය සහයෝගය ලබා ගන්න රජයේ ආයතන වගේම, රාජ්‍ය නොවන ආයතනත් මැදිහත් වෙලා ඉන්නවා. උදාහරණ ලෙස ඔබට රජයේ ඕනෑම රෝහලකින් නොමිලේ මානසික වෛද්‍යවරයෙකු හමුවීමට අවස්ථාව තිබෙන අතර ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකට හෝ කච්චේරියකට යාම හරහා නොමිලේ මනෝඋපදේශනය ලබා ගන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය නොවන ආයතනයක් වන ශ්‍රී ලංකා සුමිත්‍රයෝ වෙත යාමෙන්ද ඔබට අවශ්‍ය උපදේශන සහය ලබා ගන්න පුළුවන්. තවත් විශේෂම කාරණය තමයි, මේ වන විට ඔබට දුරකථනය හරහා සම්බන්ධ වෙලා නොමිලේ උපදේශන සේවාවන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු ලංකාව තුළ සලසා දීලා තියෙනවා. ඒ සම්බධව තොරතුරු මෙම https://findahelpline.com/countries/lk වෙබ් ලිපිනය හරහා සොයාගන්න පුළුවන්.

මේ අනුව ඔබ තේරුම්ගත යුතුම කාරණාව නම්, මානසික ගැටළු සහ රෝග සදහා ඉතා සාර්ථක ප්‍රතිකාර තියෙනවා විතරක් නෙමෙයි ඒ හරහා අපට ඕනෑම මානසික ගැටළුක් සහ මානසික රෝග‍යක් කළමනාකරණය කරගන්නත් පුළුවන් කියන දේ.

4) “පිස්සෝ” තමයි Counselling, Therapy සහ මනෝවෛද්‍යවරු හමුවෙන්න යන්නේ

එදිනෙදා ජීවිතයට එන ප්‍රශ්න හමුවේ අපි හැමෝම මොහොතකට හරි පීඩාවට පත් වෙනවා. නමුත් ඒ ප්‍රශ්න ගැටළු නිවැරදිව කළමනාකරණය කරගන්න මිනිස්සු ලද දෙයින් සතුටු වෙලා ජීවිතේ සතුටින් ගත කරනවා. ඒ අතරින් සමහරෙක්ට මේ ජීවිතේ හරි වෙහෙසකරයි කියලා දැනෙනවා. ඒත් එයාලා කොහොමහරි මේ ජිව්තේ ඇදගෙන යනවා. සතුටින් ජීවත් වෙනවා වෙනුවට ජීවිතේ ගැටගහගෙන, ඇදගෙන යන මනුස්සයෙක්ට අපි කිව්වොත් “ඔයා මෙහෙම ජීවිතේ විදවන්නෙපා, මනෝඋපදේශනයකට යොමු වෙලා ඔයාගේ ප්‍රශ්න කළමනාකරණය කරගන්න අවශ්‍ය මගපෙන්වීම ලබාගන්න කියලා.” ඔවුන් බොහෝ වෙලාවට කරන ප්‍රකාශය තමයි, “Counselling යන්න තරම් මට පිස්සූ නෑ” කියන එක. මොකද ඒක තමයි සමාජය උපදේශනය, නැත්තම් Counselling ගැන දරණ මතය. උපදේශනයට, මනෝ ප්‍රථිකාරවලට යොමුවෙන ඕනම කෙනෙක්ට සමාජයෙන් ගහන ලේබලය තමයි “පිස්සෙක්” කියන එක. මේ සමාජය කියන්නේ කාටද? අපිට! ඉතින් අපි මේ කාරණා ගැන හරියට තේරුම් අරන් මේ දුර්මත අපෙන් අයින් කරනතාක් මේ මත සමාජයෙන් අයින් කරන්න බෑ කියන එකයි මගේ මතය.

මම පෞද්ගලිකවම දන්න කාරණාවක් තමයි, බොහෝමයක් මිනිස්සූ මනෝ උපදේශනයට, මනෝ වෛද්‍යවරයෙක් මුණගැහෙන්න නොයන එකම හේතුව මේ සමාජයෙන් එන පීඩනයෙන්, කියන කතාවලින් ගැලවෙන්න තියෙන අපහසුව. ඔබට, ඔබේ පවුලේ කෙනෙක්ට, ඔබ දන්න කෙනෙක්ට මානසික සහය අවශ්‍ය වෙලාවට සමාජයට බයේ ඒ අවශ්‍ය සහය ලබාගන්න බැරුව අසරණ වෙනතාක්ම ඔබට මේ කාරණයේ බරපතකම නොතේරේවී. ඒත් මම ප්‍රාර්ථනා කරන්නේ ඔබ, අප කිසිකෙනෙක්ට එහෙම අසරණ වෙන දිනයක් එන්න එපා කියලයි. ඒ වෙනුන් තමයි මේ හැමදෙයක්ම අපි කරන්නේ.

“පිස්සූ” කියන වචනය එක්ක අපේ ඔලුවට එන්නේ හරිම අපිරිසිදු, කොණ්ඩේ වවාගත්ත, හරිම අපිළිවෙල, කටින් කෙළ බේරෙන, හරිම ප්‍රචණ්ඩ, කෑකෝ ගහන ස්වභාවයක්නේ. හැබැයි අපි මේ ලේබල් එක ඇත්‍තටම ගහලා තියෙන්නේ මේ ස්වභාවටට සම්පූර්ණයෙන්ම පටහැනි අතිශය සාමාන්‍ය මිනිස්සුන්ට. උදාහරණයක් විදිහට මාත් එක්ක වැඩකරපු අය ගත්තොත් එයාලගෙන් අතිබහුතරයකට තිබුනේ, එයාලගේ සම්බන්ධතාවයේ ගැටළු, ඉගෙනීමේ ගැටළු, දෙමාපියභාවයේ ගැටළු, රැකියා ස්ථානයේ ගැටළු, තරහා පාලනය කරගැනීමේ ගැටළු, ප්‍රශ්න කළමනාකරණය කරගැනීමේ ගැටළු, ඍණාත්මක සිතුවිලි ඉවත් කරගැනීමේ ගැටළු ආදී වශයෙන් ඉතා ඉක්මනින් ලිහාගන්න පුළුවන්, කළමනාකරණය කරගන්න පුළුවන් ගැටළු. ඉතින් එහෙම එන අය ඉතා ඉක්මනින් ඔවුන් හිටියටත් වඩා හොදට තමන්ගේ ජීවිත හදාගෙන සාර්ථක ජීවිත ගත කරනවා. ඒ නිසා මේ ලේබල් කිරීම වහාම අපි නවත්වාගත යුතුමයි!

5) මානසික ගැටළු, මානසික රෝග තියෙන අය හරි කලහකාරී, කොයි වෙලාවේ මොනවා කරයිද දන්නේ නැති නිසා හරි භයානකයි

ආදී පුරාණ ජනතාව පුද්ගලයෙකු අසාමාන්‍ය චර්‍යාවන් පෙන්වීමට (මානසික රෝගවලට) හේතුව ලෙස සැලකූවේ යක්ෂයා හෝ අදුරු බලවේගයක් එම අදාල පුද්ගලයාගේ ශරීරයට ඇතුළු වීමයි. එයට ප්‍රථිකාර ලෙස යක්ෂයා හෝ එම අදුරු බලවේගය එළවීමට, ඉවත් කිරීමට ඔවුන් ඒ අදාල පුද්ගලයන්ගේ හිසෙහි සිදුරු කිරීම් සිදුකරලා තියෙනවා. එම ප්‍රථිකාර ක්‍රමය “Trepanning” ප්‍රථිකාර ක්‍රමය කියලා තමයි හදුන්වා දීලා තියෙන්නේ.

16වන ශතවර්ශය වන විට එවැනි අසාමාන්‍ය චර්‍යාවන් ඇති පුද්ගලයන්ව සාමාන්‍ය ජනතාව අතරින් ඉවත් කරලා වෙනම රැදවුම් කදවුරු හෙවත් Mental Asylumහි රදවා තබලා තියෙනවා. එහිදී ඔවුනට දරුණු වදහිංසා පමුණුවලා තියෙනවා කියලා මූලාශ්‍ර අධ්‍යනය කරද්දී බොහොම හොදට තහවුරු වෙනවා. උදාහරන විදිහට, ඒ පුද්ගලයන්ව දංවැල් වලින් බැදලා, අදුරු කාමරවල හිරකරලා, අයිස් වතුරේ ගිල්වලා බොහෝම කුරිරු විදිහට වදදීලා තියෙනවා. මේ සියළුම අසාමාන්‍ය වදහිංසා කිරීම් වලට හේතුව වෙලා තියෙන්නේ එම සිරගත කරලා ඉන්න පුද්ගලයන් ඉතා භයානක පුද්ගලයන් බවට සාමාන්‍ය ජනතාව අතර තිබූනු මතයයි.


ජේම්ස් (ඇතැම් වාර්තා අනුව විලීයම්) නොරිස් වසර 14ක් පුරා මේ ලෙස ලන්ඩනයේ බෙත්ලම් මානසික රෝහලේ සිරකර තිබූ බව වාර්තා වේ. 1814දී ඔහුව නිදහස් කෙරුණු අතර, එතැන් පටන් බෙත්ලම් ඇතුළු සියලුම මානසික රෝහල් වල ගුණාත්මකතාවය ඉහල නැංවීම සඳහා පියවර ගන්න ලදී
(Copyrighted work available under Creative Commons Attribution only licence CC BY 4.0 http://creativecommons.org/licenses/by/4.0/)

නමුත් 1800 ගණන්වල ඉදන් මිනිස්සූ ටික ටික තේරුම් ගන්නවා මේ අසාමාන්‍ය චර්‍යා තියෙන අයට නිසි ප්‍රථිකාර කරලා ඔවුන්ගේ ස්වභාවය සුව කිරීමට හෝ කළමනාකරණය කරන්න පුළුවන් කියලා. එම හේතුව නිසා කලින් තිබුණු වදහිංසා වෙනුවට ඔවුන්ට අවශ්‍ය බෙහෙත් ප්‍රථිකාර, උපදේශනය සහ වෙනත් විවිධ චිකිත්සන ක්‍රමවේද ආරම්භ කරලා ඔවුන් සුවපත් කරනවා. ඒ නිසා අපේ ඔළුවේ තියෙන මේ වැරදි මතය ගලවලා දාන්න කාලය ඇවිත් තියෙන්නේ.

ඒ වගේම ඔබ අප දැනගතයුතු තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි සමහර මනෝව්‍යාධීන් සමග සිටින පුද්ගලයන් කලහකාරී වීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට භින්නෝන්මාදය (Schizophrenia), ද්වීධ්‍රැව අක්‍රමිකතාවය (Bipolar) සහ පෞර්ෂත්ව අක්‍රමිකතා (Personality disorders) ඒ අතරින් කිහිපයක්. නමුත් විවිධ පර්‍යෙෂණ හරහා පෙන්වන කාරණය තමයි, පුද්ගලයෙක් මානසික රෝගයේ ප්‍රථිපලයක් නිසා නෙමෙයි කලහාකාරී වෙන්නේ, ඒකට බලපාන තවත් සාධක තියෙනවා එම සාධක හේතුවෙලා තමයි ඔවුන් කලහාකාරී වෙන්නේ කියලා. එහෙම බලපාන සාධක විදිහට ඔවුන් පෙන්වන්නේ, පුංචි කාලය තුළ ලබන අත්දැකීම් (විශේෂයෙන්ම විවිධ අතවරයන්ට ලක්වීම්), රැකියාවේ ගැටළු (ආර්ථික ගැටළු), ඇබ්බැහිවීම් සහ ජීවත්වන පරිසරයේ තිබෙන කලහකාරී ස්වභාවය වගේ කිහිපයක්.

තවදුරටත් එම පර්‍යේෂණ හරහා ඔවුන් පෙන්වා දෙන්නේ, මානසික රෝගී තත්වයන්ගෙන් සිටින කලහාකාරී පුද්ගලයන් ඉහත සදහන් කරන ලද සාධකයන්ගෙන් ඉවත්කළ පසු හෝ ඒවාට නිසි පිළියම් යෙදූ පසු ඔවුන් ඉතා සාමකාමී ස්වභාවයට පත්වන බවයි. එම නිසා මානසික ගැටළු සහිත පුද්ගලයන්ට කලහාකාරී වීමට බලපාන සාධකම මානසික ගැටළු රහිත පුද්ගලයන්ද කලහාකාරී වීමට හේතූ වන බැවින් මානසික රෝගවලට භාජනය වීම කියන හේතුව නිසාම පමණක් කෙනෙක් කලහාකාරී නොවන බව ඔවුන් තවදුරටත් පෙන්වාදීලා තියෙනවා.

ඒ අනුව ඉහත සදහන් කළ සියළුම කාරණාවල සාරාංශය වෙන්නේ, මිනිසුන් වන අප සියළු දෙනාටම රෝගීවීම කියන්නේ ඉතා සාමාන්‍ය ස්වභාවයක්. එම රෝගීවීම කායික රෝගවලට පමණක් සීමා නොවී මානසික රෝගීභාවය තෙක්ම දිවයනවා. මනසින් උසස් මිනිසුන් විදිහට අපි මේ කාරණාව හොදින් තේරුම් අරගෙන උණ හෙම්බිරිස්සාව, කැස්ස, පාචනය, දියවැඩියාව හා අනෙකුත් කායික රෝග වැළදුන අය එක්ක ගනුදෙණු කරන්නේ කොහොමද, අන්න ඒ විදිහටම මානසික රෝග වැළදුන අය එක්කත් ගනුදෙණු කරන්න අවශ්‍යයි. බහුලවම හරි විදිහට කළමනාකරණය නොකරපු මානසික ගැටළු තමයි මානසික රෝග දක්වා වර්ධනය වෙන්නේ. ඒ නිසා ඔබ ඔබට ආදරෙයිනම් ඔබේ මානසික සුවතාවය රැකගැනීමට අවශ්‍ය කටයුතු සලසා ගන්න. එසේම ඔබ ඔබේ ආදරණීයන්ට ඇත්‍තටම ආදරෙයිනම් ඔවුන්ගේ මානසික සුවය වෙනුවෙන් ඔබට හැකි උපරිමය කරන්න. එහි පළවෙනි පියවර විදිහට මේ අද කතාකරපු මිත්‍යාමතවාද හෙලාදකින්න ඔබත් පසුබට නොවන්න.

මෙම ලිපිය සඳහා භාවිතා කල මුලාශ්‍ර හා වැඩිදුර කියවීම් පහත සබැඳි හරහා ලබාගත හැකිය.

  1. https://www.who.int/news-room/fact-sheets/detail/mental-disorders (WHO details about mental health)
  2. https://bcmj.org/mds-be/historical-perspectives-theories-diagnosis-and-treatment-mental-illness#:~:text=The%20prevailing%20views%20of%20early,to%20release%20the%20offending%20spirit. (Perspectives about mental illnesses)
  3. https://www.historyextra.com/period/prehistoric/what-trepanning-ancient-surgical-procedure-skulls-when-first/ (about trepanning)
  4. https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC10302760/#:~:text=Prevailing%20conceptualizations%20of%20mental%20illness,Penney%20and%20Stastny%2C%202008). (About Asylum)
  5. https://www.saarcpsychiatry.com/viewText?chapter=c6#:~:text=After%20the%20British%20colonized%20Sri,in%20jails%20throughout%20the%20island. (Sri Lankan Asyulum)
  6. https://www.apa.org/monitor/2021/04/ce-mental-illness (Mental illness and violence)

සටහන:
පී.එම්. බී අචිනි පූර්ණිමා ද සිල්වා
ලියාපදිංචි මනෝ උපදේශිකා
“සැනසුම” මනෝ උපදේශන සේවාව

ඇතැම් සිතුවම් Dall -E මගින් නිර්මාණය කර ඇත