ඔක්තෝබර් 10 වෙනිදට යෙදිලා තියෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ලියවෙන ලිපි අතරට මගෙන් පුංචි අදහසක් එකතු කරන්න හිතුවා. හැමදාම අපිට හිතෙන්නේ ලෝකේ මේ යනවිදිහේ ලොකු අවුලක් තියෙනවා ඒක වෙනස් වෙන්න ඕනේ හැබැයි ඒක මට විතරක් තනියම කරන්න බෑ, ලොකු පිරිසක් එකතුවෙන්න ඕනේ, ලොකු පිරිසකගේ වෙනස් උනොත් විතරයි සැබෑ වෙනසක් වෙන්නේ කියල. මේකට දලයිලාමතුමා හරි අපුරු කතාවක් කියනවා. “If you think You are too small to make a difference, try to sleep with a mosquito” ලෝකේ වෙනසක් කරන්න ඔබ පුංචි වැඩි හිතෙන හැමවෙලාවකම පුංචි මදුරුවෙක් එක්ක නිදාගන්න බලන්න කියල . මම ඒ කතාවට සම්පුර්ණයෙන්ම එකඟ වෙනවා. මොකද මගේ මේ උපදේශන ජීවිතය ඇතුලේ තනි පුද්ගලයෙක් විදිහට සමාජේ වෙනුවෙන් මට කරන්න ලැබුන දේවල් බොහොමයි. ඒ වගේම පෞද්ගලිකව මම විවිධ පුද්ගලයන්ගෙන් ඉල්ලාගත්ත උපකාර බොහොමයි. උදාහරණයක් විදිහට පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරීන්, ගුරුවරුන්, ප්‍රාදේශීය ලේඛම් කාර්යාල සේවකයි ආදී වශයෙන්…

අපි හැමෝටම ලොකු හැකියාවක් තියෙනවා මිනිස්සුන්ගේ මානසික සෞඛ්‍ය වැඩිදියුණු වෙන ආකාරයට කටයුතු කරන්න වගේම ඔවුන්ගේ මානසික සෞඛ්‍ය නැත්තටම නැතිවෙන ආකාරයට කටයුතු කරන්න.

සමාජ ජීවින් වශයෙන් ජිවත් වෙද්දී අපිට නිතරම විවිධ සේවාවන් ලබාගන්න සිද්ද වෙනවා. සල්ලි ටිකක් දාන්න, නැත්නම් ගන්න හිතන් බැංකුවට යන පුද්ගලයෙකු සමඟ ගනුදෙනු කරන ඒ අයකැමියගේ මුහුණේ ඉරියව්, කතා කරන විලාසය අනුව අපිට ඒ කෙනා ගැන යම් දැනීමක් දැනෙනවා. ඔවුන් සිනාමුසු මුහුණෙන් අපිට අපගේ සේවාව ලබාදෙන්නේනම් අපි හරිම කැමැත්තෙන්, සිනාමුසු මුහුණෙන් ඔවුන් සමඟ ගනුදෙනු කරනවා. නමුත් ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් නොලැබෙන විට අපි රවමින්, තරහින් එම ස්ථානයේ රැදී සිටිනවා මිස, ඔවුන්ට යම් අපහසුවක් ඇති බව සිතී පළමුව අප සිනාසීමට, ප්‍රිය වචන කතා කිරීමට කිසි විටකවත් උත්සුක වන්නේ නැහැ. නමුත් එම අවස්ථාවත් අපිට තව කෙනෙක්ගේ මානසික සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට ඉතාමත් හොඳ අවස්ථාවක්.

එක දිගටම පුටුවක වාඩි වී, පරිගණකයක් දිහා බලමින්, මුදල් සමඟ ගනුදෙනු කරද්දී කෙතරම් අපවාද ඒ කන්වලට ඇසෙනවා ඇතිද? මුදල් ගැනීමට, දැමීමට යන්ත්‍ර තිබුනත් එම සේවාව වෙනුවෙන් කීදෙනෙක් පෝලිමක අයකැමියා වෙතම පැමිණෙනු ඇතිද? රාජකාරිය අතරතුර ඉහළ නිලධාරීන්ගෙන් කෙතරම් පීඩනයක් පැමිණෙනු ඇතිද? මුදල් සමඟ ගනුදෙනු කරන විට කොතරම් ඒ ගැන සැලකිලිමත්විය යුතුද? ඒ අතර තම පෞද්ගලික ජිවිතයේ කෙතරම් හැලහැප්පීම් ඇතිද? ඒ කිසිවක් නොදන්නා අපිට ඔවුන් සිනා නොවීම, හොඳින් කතා නොකිරීම ඉතා අප්‍රසන්න සිදුවීමක් පමණයි.

නමුත් ඔබට හැකිනම් ඔවුන් සමඟ සුහදව මුලින්ම කතාව ආරම්භකිරීමට, සිනා සීමට, කටයුත්ත කරදුන් පසු බොහොම ස්තුතියැයි පැවසීමට… ඉන් ඔබ ඔබේ රාජකාරිය හරිහැටි ඉටුකළා වනු ඇත.

මේ ආකාරයට අපට සෑම ස්ථානයකදීම අනෙකාට පෙර සුන්දර හිනාවකින්, ප්‍රිය වචනයකින් අනෙකාට සංග්‍රහ කළ හැකිනම් ඔබට ඒ සුන්දරත්වය බෝකළ හැකි බවට මම දිවුරමි.

මේ ලෝකවාසී ඔබ සියලුමදෙනාගෙන්ම කෙරෙන පුංචි ආයාචනයනම්, අපිට මිනිසුන්ගේ මානසික සුවය වර්ධනය කරන්න ලොකු මුදලක් අවශ්‍ය නෑ, ලොකු ප්‍රචාරණ අවශ්‍යම නෑ. අවශ්‍ය වන්නේ නොමිලේ ලබාදිය හැකි ඔබේ සුන්දර සිනහවත්, ප්‍රියමනාප වචනයක් දෙකක් පමණකි. ඒ නිසා අඳුනන නොහඳුනන මුණගැසෙන ඕනෑම කෙනෙක්ට සුන්දර හිනාවකින් සංග්‍රහ කරන්න ඔබ මුලින්ම පටන්ගන්න. ඔබ හිතන්නෙවත් නැති විදිහට ඒ පුංචි ක්‍රියාව කෙනෙක්ගේ දවසම සුන්දර කරවී. ඔවුන්ගේ ප්‍රශ්න මොහොතකට අමතකවෙලා යාවි. අපි හැමෝම ලොකූ තරඟයක වැටිලා පිම්මේ දුවමින් ඉන්නේ. අපි හැමෝම හොයන්නේ සුන්දර වචන, සුන්දර ප්‍රිය සිනහවන්. ඒ නිසා සුන්දර දේවල් සඳහා පිපාසෙන් ඉන්න මිනිසුන්ට පුංචි දිය දෝතක් වෙන්න අපි ඉටාගමු. මේ අදහස වටිනවානම් තව කෙනෙක් එක්ක බෙදාගමු. ඒ ඔබේ සැබෑ ක්‍රියාවෙන්…

සටහන:
පී.එම්. බී අචිනි පූර්ණිමා ද සිල්වා
ලියාපදිංචි මනෝ උපදේශිකා
“සැනසුම” මනෝ උපදේශන සේවාව

සිතුවම් Unsplash.com හා pexels.com වෙබ් අඩවි වලිනි