මේ අධ්‍යාපන රටාව ඇතුලේ දරුවන්ට ඔවුන්ව අහිමි වෙලා. පුංචි කාලේ ඉදන්ම ගුරුවරුන්, දෙමාපියන් හොයන්නේ බෝල අකුරු තියෙන, ඉගෙන ගන්න දක්ශම ළමයව. අකුරු කැතයිනම් , විභාගවලට ලකුණු අඩුයිනම්, ඒ ළමයා ඔවුන්ට අනුව මෝඩයෙක්! සමහරවෙලාවට දරුවන්ට කතා කරන්නෙත් මී හරකා,ගොනා, බූරුවා, මැට්ටා වගේ හරිම නරක වචන වලින්. හැමතිස්සේම කරන්නෙ දරුවව සසදන එක. “අරයට පුලුවන්නම් ඇයි ඔයාට බැරි?” මේ සැසදීම නිසාම අපි නැතිකරගන්නේ මුතු, මැණික් වලටත් වඩා වටින දක්ශ දරුවන්ව.

ඇල්බර්ට් අයින්ස්ටන් වරක් කියනවා, “ඔබ මාලුවෙක්ට ගස් නගින්න කිව්වොත්, ඒ නොහැකියාව නිසා මාලුවා මැරෙනකන්ම හිතන් ඉන්නේ තමන් අදක්ශ මෝඩයෙක් කියලා” කියලා.

“ඔබ මාලුවෙක්ට ගස් නගින්න කිව්වොත්, ඒ නොහැකියාව නිසා මාලුවා මැරෙනකන්ම හිතන් ඉන්නේ තමන් අදක්ශ මෝඩයෙක් කියලා” – ඇල්බර්ට් අයින්ස්ටන්

අන්න ඒ වගේ අපිත් හිතන් ඉන්නේ පොතේ පතේ වැඩ බැරිනම් ඒ දරුවා අමුම අමු මෝඩයෙක් කියලා. ඒත් ඇත්‍තටම ලෝකය ජයගත්තේ බෝල අකුරු තියෙන, හැම විශයටම 100/100 ගත්ත, O/L A9 අරගෙන, A/L A3 අරගෙන විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබපු දරුවො විතරක්ම නෙමෙයි!

ලෝකය ජයගත්ත බහුතරයක් ඉන්නේ, තමන් මහන්න ආස නිසා ඒ පැත්තෙන් ඉදිරියට ගිය දරුවො, වාහන වලට ආස නිසා (රථගාය නිසා) ඒ සම්බන්ධව ඉදිරියට දරුවො, කොණ්ඩෙ කපන්න තියෙන ආසාවට යුරෝපයේ ඉදන් යුරෝ දහස් ගණන් හම්බකරන දරුවො, ලස්සනට කතා කරන්න පුලුවන් නිසා ඒ පැත්තෙන් ඉදිරියට ගිය දරුවො, අහසේ තරු ගැන තියෙන ආසාවට – කුතුහලේට ඒ ගැන හොයන්න උනන්දු උන දරුවො, උයන එක ජීවිතේ වෙච්ච දරුවො, ඕනම දෙයක් ගලවලා මස්කරලා ආයිත් ඒවා තිබුන විදිහටම හදන්න ආස දරුවො, සිංදු කියන්න, වාදනයට උපන් හපන් දරුවො, අනිත් අය යටතේ වැඩ කරන්න අකමැති තමන්ගෙම දෙයක් ඕන උන දරුවො, පරිසරයෙ වෙන්නෙ මොනාද කියලා හරිම ආසාවෙන් හොයපු දරුවො… මේ වගේ පොතේ පතේ වැඩ වෙනුවට, අහස දිහා බලපු, ගස් දිහා බලපු, හැම තිස්සෙම සම්මත රාමුවෙන් එළියට යන්න දගලපු දරුවො තමන්ගෙ ඇගේ තියෙන දක්ශතාවය නිසා ජීවිතේ දින්නා. ඉදිරියටත් දිනනවා! එයාලා තමන් ආස දේ එක්ක ජීවිතේ ඉස්සරහට ගිය නිසයි ලෝකේ මේ තරම් ලස්සන. එහෙම නොවෙන්න හිතන්න පුලුවන්ද මේ ලෝකේ කොච්චර නීරස වෙන්න තිබුනද කියලා.

ගොඩාක් ආදරෙන් ඉල්ලන්න තියෙන්නේ, ඔබේ දරුවට, ඔබේ ශිෂ්‍යට, ශිෂ්‍යාවට ඔහුම, ඇයම වෙන්න ඉඩ දෙන්න. සම්මත රාමූ ඇතුලෙ හිරකරලා මැරෙනකන්ම ඔවුන් මෝඩයන් ලෙස ජීවත්වීම වළක්වන්න. අපි හිතනවට වඩා අපේ දරුවො මොකක්මහරි පැත්තකින් අතිවිශිෂ්ඨයෙක්. Genius කෙනෙක්. අනේ ඒ දක්ෂයව මරන්න එපා!
ඔවුන්ට ඔවුන්ව හොයාගන්න මග පෙන්වීමක් පමණක්ම කරන්න! ඔවුන්ට පුළුවන් පාර හොයාගෙන ඉස්සරහටම ‍යන්න!

සටහන:
පී.එම්. බී අචිනි පූර්ණිමා ද සිල්වා
ලියාපදිංචි මනෝ උපදේශිකා
“සැනසුම” මනෝ උපදේශන සේවාව

සිතුවම් Dall -E මගින් නිර්මාණය කර ඇත