යම් පුද්ගලයෙකු මානසික ගැටලුවකින් පෙළෙන විට ඔහුට හෝ ඇයට තමන්ගේ එදිනෙදා වැඩකටයුතු වලට අවධානය දීමට නොහැකි වීම යනු ඉතාමත් සුලබ කාරණයකි. ඒ වගේම ඉක්මනින් කේන්ති යාම, කෑම අරුචිය, නින්ද සම්බන්ධ ගැටළු, නිවැරදි තීන්දු තීරණ ගැනීමේ නොහැකියාව ආදී වශයෙන් බොහොමයක් ගැටළු එම මානසික ගැටළුකාරී ස්වභාවයත් සමඟ පැන නගිනු ඇත. මිට අමතරව කායික වශෙන් තද හිසේ කැක්කුම, ඇගපත රුදාව ආදී ගැටළුද ඇතිවිය හැක. මේ සියලුම ආකාරයේම වෙනස්වීම් කෙටි කාලයක (උපරිම දවස් 07ත් 10ත් අතර) පැවතීම ඉතාමත් සාමාන්‍ය තත්වයකි. නමුත් යම්කිසි ආකාරයකින් සති 02කට නොඅඩුව ඊටත් වඩා වැඩි දින ගණනක් තමන්ට හෝ අනුන්ට නැතිනම් මේ දෙපිරිසටම දැනෙන ආකාරේ ගැටලුකාරී තත්වයක් වශයෙන් පවතීනම්, එම ගැටළුකාරී ස්වභාවයත් සමඟ එදිනෙදා කටයුතු කරගැනීමට නොහැකි තත්වයකට පැමිනේනම්, ඒ පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු විය යුතුම වේ.
ඒ අනුව එහිදී අපට අත්දැකීම් සහිත වෘත්තීමය සුදුසුකම් සපුරා ඇති විශේෂඥයින්ගේ සහය පැතීම කළ හැකිය. මා එහිදී ඔබට යෝජනා කරනුයේ උපදේශන මනොවිද්‍යඥයෙකු හමුවීමයි.

ඊට හේතුවනම්, වෘත්තීමය සුදුසුකම්ලත් මනෝ උපදේශකයන් ඉතාමත් හොඳින් සක්‍රීය සවන්දීමේ කුසලතා පුහුණුකර ඇති බැවින් ඉතාමත් සුවපහසුවෙන් ඔබට ඔවුන් හා කතාබහ කළහැකිය. ඕනෑම පුද්ගයයෙකුට තම සිතේ සිරවී ඇති ගැටළුවක් පිළිබඳව විවෘත වීමෙන් පවා මනසට විශාල සහනයක් අත්වේ. නමුත් මෙම සංවාදයේදී ඊටත් වඩා විශාල කර්තව්‍යක් සිදුවේ

එම සංවාදය තුළින්,

  • ඔබටම ඔබගේ ගැටළුව නිවැරදිව හඳුනා ගැනීම,
  • එම ගැටළුව විසඳා ගැනීමට ඔබට තිබෙන හැකියාවන් අඳුනා ගැනීම,
  • එම ගැටළුව විසඳා ගැනීමට ඔබට ඇති තේරීම් (Options) සහ විකල්ප(Alternatives),
  • එම තේරීම් තෝරාගතහොත් සිදුවිය හැකි හොඳ නරක,
  • ඒ අනුව ඔබට ඇති හොඳම තෝරාගැනීම,

ඔබට ඇති ගැටළුව විසඳා ගැනීමට පියවරෙන් පියවර ඔබව සුදානම් කරනවා පමණක් නොව, මෙතෙක් ඔබ ඔබ පිළිබඳව නොදුටු පැතිකඩයන් ඔබට දැකීමට අවශ්‍ය දැනුම, කුසලතාද සංවර්ධනය කිරීමට උපකාර කරයි. ඒ වගේම එහි තවත් වටිනා සුවිශේෂිතාවයක් වන්නේ ඔබගේ ගැටළුව විසඳා ගැනීමේදී ඔබට කිසිම ආකාරයේ බලපෑම් සිදුනොකරන අතර සියල්ල ඔබට රිසි සේ සිදුකිරීමට අවශ්‍ය සහය පමණක්ම ලබාදේ. සරලවම මෙහෙදී ඔබට ඔබව මුණගැස්වීම සිදුකරයි.

මනෝ උපදේශකයෙකු ඔබ සමඟ ඉතා වැඩිකාලයක් සංවාදයේ යෙදෙන අතර, එහිදී ඔබගේ පවුලේ තොරතුරු, රැකියාව පිළිබඳව, අධ්‍යාපනය පිළිබඳව, ඔබගේ මනෝභාවයන් පිලිබඳ, හැගීම්-දැනීම්, රුචි-අරුචිකම් , ඔබගේ ගති-සිරිත්, අතීත සිද්ධීන්, ඔබගේ සැලසුම් පිළිබඳව, ඔබගේ වත්මන් තත්වය,සම්බන්ධතා පිළිබඳව ආදී වශයෙන් විශාල තොරතුරු රැසක් කතාබහ කරයි. එසේම එම සියලු තොරතුරුවල රහස්‍යභාවයට 100%ක්ම වගකියයි. මන්ද මනෝ උපදේශකවරුන් යනු වෘත්තීමය වශයෙන් රහස් රකින්නන්ය. එම නිසා ඉතා සැහැල්ලුවෙන් ඔබට විවෘතව කතාබහ කලහැක. ඔබ සත්‍ය හා නිවැරදි තොරතුරු ලබා දීමෙන් ඔබට නිවැරදි මඟ පෙන්වීමක් නිතැතින්ම හිමිවනු ඇත.

අවුරුදු ගණනාවක පලපුරුද්ද තුළින් මා වටහාගත් කාරණාව නම්, ශ්‍රී ලංකාවේ බොහොමයක් දෙනෙකු මානසිකව විවිධ ගැටළු සඳහා තනිවම මුහුණදීමට යාමෙන් එම මානසික ගැටළු මානසික ව්‍යාධීන් නැතහොත් මානසික රෝග දක්වා වර්ධනය කරගන්න බවයි. ඔබට අපහසුවක් දැනෙන ඕනෑම විටක ඉතා හොඳ සෞඛ්‍යසම්පන්න සන්නිවේදනයකට යාම තුළින් ඉතා විශාල සුවපත්භාවයක් අත්කරගත හැක. මෙම සන්නිවේදනය ඔබගේ දෙමාපියන්, හිතවතුන්, ආදරණීයන්, යහළුවන් සමඟ වුව සිදුකිරීම ඉතා යහපත්ය. නමුත් ගැටළුව වන්නේ ඔවුන් කොතරම් දුරට ඔබට,

  • සක්‍රීයව සවන්දෙනවාද?,
  • කෙතරම්දුරට ඔබට අවශ්‍ය සහකම්පනය ලබාදෙනවාද?
  • ඔවුනට කෙතරම්දුරට ඔබව විවෘත කරගැනීමට අවශ්‍ය ප්‍රශ්න ඇසීමේ හැකියාව තිබෙනවාද?
  • කෙතරම් දුරට ඔබගේ රහස්‍යභාවය රැකිය හැකිද?
  • සහ කෙතරම්දුරට මධ්‍යස්ථව ඔබගේ ගැටළුව දෙස බැලිය හැකිද?

යන්නයි. මන්ද මෙම සුවිශේෂී කාරණාවන් එක් වූ සංවාදයකට පමණක්ම අපව ඉතා සැහැල්ලු හා සුවපත් තත්වයකට පත්කිරීමට අවශ්‍ය හැකියාව, බලය ඇත.
මීටත් අමතරව මනෝ උපදේශකයෙකුගේ සුවිශේෂත්වය වනුයේ, ඔබ හා කතා කිරීමේදී ඔබට මානසික ව්‍යාධියක රෝග ලක්‍ෂණ තිබේනම්, ඔවුන් ඒවා හඳුනාගෙන ඔබගේ රෝගයේ තීව්‍රතාව මත එම රෝග ලක්ෂණ සටහන් කොට ඔබව මානසික වෛද්‍යවරයෙකු වෙත ඖෂධීය ප්‍රතිකාර සඳහා යොමු කිරීමයි. එහිදී ඉතා පහසුවෙන් වෛද්‍යවරයාට ඔබට අවශ්‍ය ප්‍රතිකාර සිදුකළ හැකිය.

නමුත් යම් අවස්ථාවක ඔබට ඔබගේ ජිවිතයේ පාලනය ගිලිහුණ බවක් වැටහුනහොත් හෝ ඔබගේ සමීපතමයන්ගෙන් එවැනි ලක්ෂණයක් දුටුවහොත් ඉතා ඉක්මනින් මනෝ වෛද්‍ය සහාය පැතීම ඉතාමත් වැදගත් වේ.

නමුත් ඔබට ජීව්තයේ යම් ගැටළුවක් පැමිණි විගසම මනෝ වෛද්‍ය සහාය පැතුවහොත් ඔබට සිදුවන දේ මා උදාහරණයක් ඇසුරෙන් මෙසේ පැහැදිලි කරන්නම්.


ඔබගේ ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටීම නිසා ඔබ ඉතා කනස්සල්ලට හා දුකට පත්වේ. එම පිඩාව හේතුවෙන් ඔබට නින්ද නොයාම, බඩගිනි නොවීම, ජීවිතය එපා වී සියල්ල කලකිරීම ආදී රෝග ලක්ෂණයන් මතුවේ. මනෝ වෛද්‍ය සහය පතන ඔබට තාවකාලික පිලියමක් ලෙස සුව නින්දකට අවශ්‍ය ඖෂධ, කෑම රුචිය වඩවන ඖෂධ, ඔබගේ මනෝ භාවයන් නිසිලෙස සමබර කරගැනීමට අවශ්‍ය ඖෂධ ආදී වශයෙන් ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයෙන් ඔබට ඖෂධ ලබාදෙනු ඇත. කෙටිකාලීනව එය ඔබගේ ගැටළුවට ඉතා හොඳ පිලියමක් වුවද මෙම ඖෂධ දීර්ඝකාලීනව ගැනීමට සුදුසු නොවේ. ඔබ ඔබගේ මෙම අපහසුතාවයන්ගේ මුල සොයා ඊට පිළියම් නොකළහොත් මෙය “හිසේ කැක්කුමට කොට්ටය මාරුකලා හා සමාන වනු ඇත”.

ඔබගේ ඉහත සඳහන් කළ ගැටළු, නැතහොත් රෝගලක්ෂණම රැගෙන ඔබ මනෝ උපදේශකයෙකු වෙත ගියහොත්, ඔහු/ඇය සිදුකරනුයේ ඔබ මේ තත්වයට පත් වූ හේතු සොයාගැනීමත්, එම හේතුන් නැවත නැවත ඔබේ ජිවිතයට පැමිණ ඔබව මෙලෙස රෝගී කීමට නොහැකි වන සේ එම හේතූන් සමඟ ධනාත්මකව ජීවිතයට මුහුණ දීමට අවශ්‍ය කුසලතා, මානසික තත්වයන් ඔබ තුළ සංවර්ධනය කිරීමයි. එවිට ඔබ නිවැරදිව ගැටළුව හදුනාගෙන එය දෙස වෙනස්ම කෝණයකින් බැලීමටත්, ඉතාමත් ඉක්මනින් නිරෝගී මානසික මට්ටමකට ලග වීමටත් හැකියාව උදාකරගනී. මනෝ උපදේශකයෙකුට වඩා මනෝ වෛද්‍යවරයෙකු ඉතාමත් කාර්‍යබහුල බැවින් මුලික කටයුතු නිවැරදිව කල්වේලා ගෙන කළ හැක්කේ මනෝ උපදේශකයෙකු හටවේ. නමුත් යම්කිසි ආකාරයකින් ඔබට උපදේශනය ප්‍රමාණවත් නොවේ යයි හැගුනහොත් ඔබව වහාම මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරයි.
අවසන් වශයෙන් මා ඔබට ලබාදෙන පණිවුඩය නම්, කායික රෝග සඳහා යම් ප්‍රතිකර්මයක් වැරදුනොහොත් එය කෙසේ හෝ සුවපත් කරගැනීමට විශාල හැකියාවක් තිබේ. නමුත් අපගේ මනසට වැරදි ප්‍රතිකාරයක් ලැබුනහොත් එය නිවැරදි කිරීම බොහෝමත්ම අසීරු කාර්යයකි. එම නිසා ඔබ ඔබගේ මානසික ගැටළු සඳහා පිළියම් කරගැනීමට පෙර ඔබ යොමුවන මනෝ උපදේශකයාගේ හෝ මනෝ වෛද්‍යවරයාගේ පලපුරුද්ද, සුදුසුකම් බැලීමට අමතක නොකරන්න. මන්ද දැන් උපදේශන නිලධාරීන් ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයන් සමාජයේ ඉතා බහුල බැවින්ය.

සටහන:
පී.එම්. බී අචිනි පූර්ණිමා ද සිල්වා
ලියාපදිංචි මනෝ උපදේශිකා
“සැනසුම” මනෝ උපදේශන සේවාව

සිතුවම් unsplash.com වෙබ් අඩවියෙනි