ආදර සම්බන්ධතාවයක් අපට අවශ්‍ය වන්නේ අපගේ ජීවිතයේ සතුට තවදුරටත් වැඩිකිරීම සඳහාම මිස ජිවිතය විඳවීමට නොවේ. නමුත් අද වර්තමානයේ බහුතරයක් තරුණ තරුණියන් ජීවිතය විඳවන්නේ, විටෙක ජිවිතයෙන් සමුගන්නේ ප්‍රේම සම්බන්ධතා නැත්නම් මේ කියන ආදරය නිසා කිව්වොත් මම නිවැරදී. මෙහිදී මේ සඳහා ඔබට මට බලපාන හේතූ කිහිපයක් අපි සාකච්ඡා කරමු.

  • අනවශ්‍ය තරම් සම්බන්ධතාවය පිළිබඳව බලාපොරොත්තු ගොඩගසා ගැනීම
  • අනෙක් පාර්ශවය තමාට රිසි සේ සිටී යැයි තිබෙන බලාපොරොත්තුව
  • තම ආදරණියන්ගේ පෞද්ගලිකත්වයට හා නිදහසට ගරු නොකිරීම
  • ප්‍රතික්‍ෂේප වීම දරාගත නොහැකි වීම
  • සම්බන්ධතා ගෙන යාමට තරම් මුහුකුරා (mature) නොතිබීම
  • යථාර්තවාදී නොවීම
  • තමාට තමා නිවැරදිව ආදරය නොකිරීම

ඉහත එක් එක් කරණු කෙටියෙන් විමසා බලමින් අපව, අපගේ ආදරණියන් තේරුම් ගැනීමට උත්සහා කරමු.

  • අනවශ්‍ය තරම් සම්බන්ධතාවය පිළිබඳව බලාපොරොත්තු ගොඩගසා ගැනීම

සම්බන්ධතා ඇතිකරගත් වහාම ඔහුගේ/ඇයගේ ගතිගුණ, රුචි අරුචිකම්, ඔවුන්ගේ පෞර්ෂත්වය, ප්‍රශ්වලට මුහුණදෙන ආකාරය, හැසිරීම, දැනට පවත්නා සම්බන්ධතා(දෙමාපියන්, නෑදෑයින්, යහළුවන් ආදීන් සමඟ)කරගෙන යන ආකාරය හොඳින් විමර්ශනාත්මකව බැලිය යුතුයි. නමුත් ඒ වෙනුවට අප පුරුදු වී සිටින්නේම කැමැත්ත පලකළ දින සිටම විවාහය පිළිබඳව සිහින දැකීමටයි. එසේම බොහෝම ධනාත්මකව, අන්තගාමී ලෙස තමාට හමු වූ පුද්ගලයා 100%ක්ම තමාට ගැළපෙනවා යන වැරදි පණිවුඩය මනසට යැවීමයි. එම නිසා ඔවුන්ගේ අඩුපාඩුකම් කිසිවක් නොදකින අපි, අපගේ අඩුපාඩු පවා සඟවා ඉතා වැදගත් හොඳ මුහුණ පමණක්ම පෙන්වීමට ක්‍රියා කරයි. එම නිසා තමා වැරදි සම්බන්ධතාවයක සිටි බව ප්‍රත්‍යක්ෂ වනුයේ තමාට විය යුතු සියලුම අකරතැබ්බයන් සිදු වූ පසුවයි. එයට ප්‍රධානම හේතුව වනුයේ අසීමාන්තිකව ගොඩගසා ගත් බලාපොරොත්තූන්මය.

  • අනෙක් පාර්ශවය තමාට රිසි සේ සිටී යැයි තිබෙන බලාපොරොත්තුව

බුද්ධිමත්ව තමන්ගේ ප්‍රේමවන්තයාගේ/ ප්‍රේමවන්තිගේ සැබෑ ස්වරූපය තේරුම් ගැනීම හා ඒ වෙනසට ගරු කිරීම වෙනුවට අප ක්‍රියා කරනුයේ ඉතා මුග්ධ ආකාරයෙනි. එනම්, තමාට ඇත්තටම ආදරය කරනවා නම් අනුගමනය කළයුතු දණ්ඩ නීති සංග්‍රයක් ඔවුන්ට ඉදිරිපත් කිරීමයි. එයට අනුව ඔවුන්ගේ කැමැත්ත ඇතුව හෝ නැතුව ඔබගේ අණසකට කීකරු විය යුතුයි. මෙයින් අනෙක් පාර්ශවය බොහෝ සේ පිඩාවට පත්වේ. ආදරයේ නාමයෙන් මෙතෙක් සිටි තමාව වෙනස් කරගැනීමට සිදුවේ. ඕනෑම පුද්ගලයෙකුට යම් සීමාවක් තුළ පමණක් මෙම ක්‍රියාව එකඟ විය හැකි අතර ඕනෑම වේලාවක එය ප්‍රතික්ෂේප කිරීමටද අයිතිය තිබේ. මෙහිදී තමා තමාවම උපමාවට ගැනීමෙන් පමණක්ම මෙම ගැටළුව ලිහාගත හැක.

  • තම ආදරණියන්ගේ පෞද්ගලිකත්වයට හා නිදහසට ගරු නොකිරීම

තම පෞද්ගලිකත්වයට හා නිදහසට සියළුදෙනාම ප්‍රිය කරනවා මෙන්ම එය නිරන්තරයෙන් අපේක්‍ෂා කරයි. මෙම න්‍යාය කාට වුව පොදු බව තම තමන් සිහි තබාගැනීම තම ආදරණියන්ට පවා සෙත සලසයි. එවිට කිසිවිටෙකත් අනෙකාව සිර කිරීමට හෝ බලෙන් තබා ගැනීමට අප උත්සාහ නොගනු ඇත. මන්ද සිරකරුවන් ඉඩ ලද වහාම කූඩු තුළින් පැන යයි. නිදහස තිබියදී ඔබ ළඟ රැදෙනුයේ සැබවින්ම ඔබට ප්‍රිය, ඔබ පතන අයම පමණි. එම නිසා වඩා ගැළපෙන සහකරු/සහකාරිය සොයාගැනීමටද එම වැඩපිළිවෙල ඉතා අගනේය. ඔබගේ පෙම්වතා, පෙම්වතිය පමණක් නොව සැමියාට, බිරිඳට වුවද අනෙකාව තමන්ගේ පෞද්ගලික ඉඩ (personal space) තුළට නොගැනීමට අයිතියක් තිබේ. ඔබ නොඉල්ලාම ඔබව ඔවුන්ගේ පෞද්ගලික ඉඩ (personal space) තුළට ගන්නේ නම් එයට නිසි වටිනාකමක් ලබාදිය යුතුමය. මෙම නිදහස හා පෞද්ගලිකත්වය පිළිබඳව අපගේ නොදැනුවත්භාවය නිසාම අප අපගේ ආදරණීයයන් පමණක් නොව අපද රිදවා ගනී.

  • ප්‍රතික්‍ෂේපවීම දරාගත නොහැකි වීම

සම්බන්ධතාවයක් අරඹන දිනයේම අප තේරුම් ගතයුතු කාරණාවක් තිබේ. එනම්, මෙම පුද්ගලයා මට ගැළපෙන්නේ නම්, මා ඔහුට/ඇයට ගැළපෙන්නේ නම් මෙම සම්බන්ධතාවය විවාහයකින් කෙලවර වන බවත්, සම්බන්ධතාවය අතරතුර ඔහු/ඇය නොගැලපෙන බව මට දැනුන හොත් හෝ ඔහුට/ඇයට මා ඔවුන්ට නොගැළපෙන බව දැනුනහොත් ඕනෑම විටෙක මෙම සම්බන්ධතාවය අතරමඟ නැවතිය හැකි බව. මේ බව වටහා නොගැනීම නිසා නොගැලපෙන බව දැන දැන අනෙකා යාමට නොදෙන නිසා විඳවන ප්‍රේමවන්තයින් ඕනෑතරම් සිටී. බොහෝ කළකිරීමෙන් ඔවුන් පවසනුයේ “බැඳගත්ත බෙරේ ගසන්නට සිදු වී ඇති බව හෝ වැටුණු වලෙන් ගොඩ ඒමට නොහැකිව සිරවී සිටී “යන්නයි. වසර 5-6ක් දුර ගියද නොගැළපෙන සම්බන්ධතා තුළින් ඉවත්විය විය යුත්තේ ජිවත්වීමට ඉතිරි වූ කාලය ඉතා දිගු බැවින් හා දරුවන්ට තම දෙමාපියන් තේරීමේ හැකියාවක් නොමැති හෙයින් ඔවුනටද සාධාරණයක් ඉටුකරනු වස්ය. විවාහය යනු දෙදෙනෙකුගේ කැමැත්ත මත සිදුවන එකතුවීමක් විනා තනි පුද්ගල කැමැත්තට පමණක් සිදු නොවිය යුත්තකි.

  • සම්බන්ධතා ගෙන යාමට තරම් මුහුකුරා (mature) නොතිබීම

පාළුවට,තනිකමට විසඳුමක් ලෙස එසේත් නොමැතිනම් යහළුවන් අතරේ කොන්වේ යැයි බියට සම්බන්ධතාවලට යෑම කිසිවිටෙකත් නොකළ යුත්තකි. මන්ද ඊට ප්‍රථමයෙන් ඔබ කැපකිරීම් කිරීමට, ප්‍රතික්ෂේපවීම් දරාගැනීමට, පුද්ගල වෙනසට ගරු කිරීමට හා ස්වාධීන ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය මුලික කුසලතා සංවර්ධය කරගත යුතුය. ආත්ම විශ්වාසයක් නොමැතිව දුර්වල පෞර්ෂයක් සහිතව හුරතල් ජිවිතයක් බලාපොරොත්තුවෙන් සම්බන්ධතාවලට යාම කිසිසේත්ම අනුමත නොකරයි. මන්ද ඔබ ඉතා සැහැල්ලු, සමාජානුයෝජනය නොවුන කෙනෙකුනම්, සම්බන්ධතා හේතුවෙන් පැනනගින ප්‍රශ්න නිසාවෙන් ඔබට ජිවිතයම කළකිරී දැඩි වෙහෙසකට පත්වීමට ඉඩ තිබේ. එසේම යැපුම් මානසිකත්වය සහිතව කිසි විටෙකත් සම්බන්ධතාවලට යොමු නොවීමට වගබලා ගන්න.

  • යථාර්තවාදී නොවීම

ලෝකයේ අප දැනගත යුතුම සැබෑ යථාර්තය කුමක්ද?
අපට ඉතා ප්‍රිය අප කැමති දේවල් අපට අහිමිවීමට ඉඩ ඇති බව, අපට ඉතා අප්‍රසන්න අකමැති දේ ලැබීමට ඉඩ ඇති බව, නොහිත මොහොතක ඕනෑම දෙයක් වෙනස් විය හැකි බව, ලෝකයේ සියලු දේ අපගේ පාලනයෙන් තොර බව ආදී වශයෙනි. විටෙක මෙම යථාර්තය තේරුම් නොගැනීමට නොහැකි වීම නිසා හෝ තේරුම් ගැනීමට අකමැති නිසාවෙන් අධික ලෙස ශෝකව හැඩීම් වැළපීම් සිදු කරයි. එම නිසා මෙම ලෝක පාලක ධර්මයන්ට අවනත නොවීම නිසා හෝ ඒ පිළිබඳ නොදන්නාකම නිසාවෙන් ඔබ ජිවිතය විදවයි.

  • තමාට තමා නිවැරදිව ආදරය නොකිරීම

අප ජීවිතයේ සිදුකර සියළු දේ හි අවසන් බලාපොරොත්තුව සතුටයි. ප්‍රේමය යනු සතුට සෙවීම වෙනුවෙන් තබන තවත් එක් පියවරකි. ඒ නිසාවෙන් අනෙකා අකමැත්තෙන් වුව අපගේ සතුට වෙනුවෙන් අප ඔවුන් බලෙන් රඳවා ගැනීමට උත්සාහ කරයි. නමුත් ඉන් අපගේ සතුට අහිමි වන බව නොතේරේ. යම් පුද්ගලයෙකු අපව ප්‍රතික්ෂේප කිරීම හරහා ලබාදෙන පණිවුඩය නම ඔවුන්ගේ සතුට වැඩිවීමට අපව අවශ්‍ය නොවන බව හෝ අප නිසා ඔවුන්ට සතුටක් නොමැති බවයි. එම නිසා ඔවුන් ඔවුන්ගේ සතුට සොයා අපෙන් ඉවත්වෙයි. එය අසාධාරණ යැයි කිසිවෙකුට කිව නොහැක. අප ඔවුන් රඳවාගැනීමෙන් සිදුවනුයේ ඔවුන්ට අපව වදයක් වීම, ඔවුන් අපව නොසළකා හැරිම, අපගේ සිත රිද්දවිම හා පිඩාවට පත් කිරීම. මෙය අප විසින් ඉල්ලාගෙන කෑමක් වැනිය. ඒ හරහා අප සෙවූ සතුට වෙනුවට අනන්ත දුක් විදීමට සිදුවෙයි. එම නිසා බුද්ධිමත් පුද්ගලයන් නොගැලපෙන පුද්ගලයන් ඉවත් වීමට සැරසීමේදී ඒ සඳහා එකඟ වේ. මෙය අප “mutual breakups” ලෙස හැඳින්වේ. එම නිසා මුලින්ම තමාට ආදරය කරන්න සහ අනෙකාටත් ඔවුනට ආදරය කරමින් තම තමා වෙනුවෙන් තෝරාගැනීම් කරගැනීමට ඉඩ දෙන්න.

මේ අනුව ආදර සම්බන්ධතාවයක් විවාහයකින් කෙළවර කිරීමට පෙර,

  • කාලය ගෙන දෙදෙනා හොඳින් තේරුම් ගැනීම
  • ප්‍රශ්න හමුවේ ඔවුනොවුන් ඒවාට මුහුණදෙන ආකාරය පිළිබඳව සැලකිලිමත් වීම
  • ඉතා හොඳ සන්නිවේදනයක් සිදු කිරීම
  • අනෙකාගේ වෙනස හඳුනාගෙන ඊට ගරු කිරීම
  • දෙදෙනා දෙදෙනෙකු බව තේරුම් ගැනීම
  • තම තමන්ට සිමා මායිම් තබා ගැනීම
  • අපහසු සම්බන්ධතාවලින් ඉවත්වීම වෙනුවෙන් එකිනෙකට උදවු කිරීම
  • තම සම්බන්ධතාව අනෙක් අය සමඟ සංසංදනය නොකිරීම
  • ඇත්තම “ඔබව” ඔවුනට නිරාවරණය කිරීම
  • තම තමන් පෞද්ගලිකව ශක්තිමත් වීම
  • අපහසු ප්‍රශ්න විසඳා ගැනීමට වැඩිහිටියෙකුගේ හෝ අත්දැකීම් සහිත වෘත්තිකයෙකුගේ සහය පැතීම
  • සෑම සම්බන්ධයක්ම විවාහයකින් කෙළවර නොවන බව තේරුම්ගෙන සිටීම

ආදිය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න. අනතුරුව එම කාරණා බුද්ධිමත්ව ජීවිතයට ගළපා ගන්න.

එකිනෙක වෙනුවෙන් මැවුණු ජිවන සහකරුවෙක්/ සහකාරියක් සිටී. ඔවුන් නිසි කලට ඔබ හමුවට එනු ඇත. එතෙක් ඉවසීමෙන් ඔබගේ අනෙකුත් අවශ්‍යතා ඉටුකරගන්න. වැරදි පුද්ගලයන් ජිවිතයට පැමිණි පසු ඔවුනට නැවත යාමට ඉඩ දිය යුත්තේම වැරදි පුද්ගලයෙකු ඔබ ළඟ සිටින තුරු නිවැරදි පුද්ගලයාට ඔබ වෙතට ආ නොහැකි බැවින්ය.

සටහන:
පී.එම්. බී අචිනි පූර්ණිමා ද සිල්වා
ලියාපදිංචි මනෝ උපදේශිකා
“සැනසුම” මනෝ උපදේශන සේවාව

සිතුවම් Unsplash.com වෙබ් අඩවියෙනි